Saturday, December 26, 2015

කුඩුකාරයා

[This is the result of an attempt to write a conversation-centric, laconic story inspired by Issac Asimov's short stories. I wrote it in paper in 2002-2003 but the idea dates back to 1999. Typed it using Google Transliterate partly to practice Sinhala typing using this nice tool.]

"එතකොට තමුසෙ කියන්නේ ඒ මනුස්සය කුඩුකාරයෙක් කියලමද?"
සමරජීව විමසීය.
"ඔව්, ඒක ගෙන සැකකරන්න හේතුවක් නැහැ"
සුමනරත්න කීය,
විදේශයක සිට ලඟදී සියරට පැමිණි තම මිතුරා තමා මුහුණදුන් මෙම අත්දැකීම ගැන මෙතරම් කරුණු විමසන්නේ මන්දැයි ඔහුට නොතේරුනි. ඔහුට නම් එම සිද්ධිය තරමක් අප්‍රසන්න වුවත් කිසිසේත්ම අද්භූත නොවීය.
ඇත්ත වශයෙන්ම තමා මෙබඳු "අහක යන කරදරයක" පැටලීම ගැන සුමනරත්න දුක්විය. එහෙත් ඔහු එය සිය කැමැත්තෙන් තමන් වෙත ගෙන්වා ගත්තක් නොවීය.
සියල්ල සිදුවූයේ මීට දෙමසකට පමණ පෙරදී ඔහු සරසවියේ සිට නිවස බලා එමින් සිටියදීය. අසල ඇති නගරයේ සිට ඔහුගේ නිවසට වැටී ඇති මාර්ගයෙහි පාලුවට ගිය තෙමහල් ගොඩනැගිල්ලක් විය. මෙය කුඩුකාරයන්ගේ තිප්පලක් ලෙස ප්‍රස්ද්ධය. සුමනරත්න  මෙම ස්ථානය පසුකරත්ම ඔහු ඉදිරියට යම් බරති දෙයක් ඉහල සිට ඇද වැටිණි. ඒ සමගම මිනසකුගේ කෑ ගැසීමක් ඇසුණු අතර ඉදිරිය බැලූ සුමනරත්නට පෙනුණේ තමා ඉදිරියේ මිනිසකු වැටී සිටින බවයි.
මේ මිනිසා පැමිණියේ කෙසේදැයි සිතා ගත නොහැකිව සුමනරත්න උඩ බැලීය. ඔහු අසල පිහිටි ගොඩනැගිල්ලේ සිට බිමට පනින්නට ඇතැයි යන්නට වැඩි යමක් ඔහුට සිතා ගැනීමට නොහැකිවිය.      
කෙසේ වෙතත් බිම වැටී සිටි මිනිසාගේ තත්ත්වය බරපතල විය. අඬ ගසා ගත හැකි මායිමේ සිටි මිනිසුන් කිහිප දෙනෙකු සමග එක්වූ සුමනරත්න එම අවාසනාවන්ත මිනිසා රෝහල වෙත රැගෙන ගියේය. ඒ මිනිසාට  ජීවත්වීමේ  වාසනාවක් නොවීය. රෝහලට ඇතුලත්කර පැය කිහිපයක් ඇතුලත තුවාලවල බරපතලකම නිසා ඔහු මිය ගියේය.
මෙවැනි කරදරවල පැටලීමට සුමනරත්න ස්වාභායෙන්ම අකමැති වුවත් මෙහිදී එය මගහැරීමට නොහැකිවිය. මියගිය පුද්ගලයා සම්බන්ධව ඔහුට පොලීසියට කට උත්තරයක් දීමටත්  සිදුවිය.
මියගිය පුද්ගලයාගේ එක විශේෂ ලක්ෂණයක් නොවන්නට මෙය කිසිවකුගේ වැඩි අවධානයට ලක් නොවීමට ඉඩ තිබුණි. එනම් ඔහු සුදු ජාතිකයකු වීමය. එහෙත් සුමනරත්න නම් මෙය එතරම් ගණන් නොගත්තේය. කුඩුකාරයකුගේ හැම සුදුවූ පමණින් ඔහුට විශේෂ සැලකිල්ලක් ලබා දිය යුතු නොවේ.
"ඒ මනුස්සය මැරෙන්න කලින් තමුසෙට මොනවද කිව්වා කිව්ව නේද?"
සුමනරත්නගේ සිතිවලවලට බාධා කරමින් සමරජීව පැවසීය.
"ඔව්. ඒත් මරු විකල්ලෙන් කුඩු කාරයෙක් කියවන දේවල් එච්චර ගණන් ගන්නේ මොකටද?"
"හොඳයි, මිනිහා මොනවද කිව්වේ?"
පොලීසියත් තමන්ගෙන් මෙම ප්‍රශ්නයම ඇසූ බව සුමනරත්නට සිහිවිය. මියගිය පුද්ගලයා කී දේවල් ඔවුන්ටත් තේරුම් ගත නොහැකි විය.  
"What time is this?"
ඔහු විමසීය. මේ අද්භූත ප්‍රශ්නයෙන් පුදුමයට පත් සුමනරත්න
"It's about 4 'o clock" යැයි කීය.
"No, no! What year is this?"
"This is 1999"
"Oh! Thank God!!"
නන්නාඳුන පුද්ගලයාට කිව හැකි වූයේ එපමණකි. නැවත ඔහු කිසිවක් කතා කලේ නැත.
"ඔය ප්‍රශ්න හරි අද්භුතයි කියල උඹට හිතෙන්නේ නැද්ද?" සමරජීව විමසීය.
"ඔව්. ඒත් කුඩුකාරයො ඔයිටත් වඩා අද්භූත වැඩ කරනවා. ලඟදි මේ පළාතේ එක කුඩුකාරයෙක් ව්‍යාඝ්‍රයෙක්  කියල හිතාගෙන බළල් පැටියෙක් මරල දාල තිබුණ"
"නමුත් ඔය මනුස්සය මේ පළාතේ මීට කලින් කවුරුවත් දැකලා නැහැ නේද "
මේ සිද්ධිය පිටුපස කිසියම් අභිරහසක් ඇති බව තම මිතුරා හමුවේ පිළිගැනීමට සුමනරත්නට සිදුවිය. මියගිය පුද්ගලයා ප්‍රදේශයේ කිසිවකු හඳුනා නොගත් බව ඇත්තකි. එමෙන්ම ඔහුගේ ඡායාරූපය පුවත්පත්වල් පළකිරීමෙන් පසුවද ඔහුගේ දේහය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීය. තවද ඔහු පාළු ගොඩනැගිල්ලට ඇතුළුවනුද කිසිවකු දැක නොතිබුණි.
"ඔය ගැන පොලීසිය කුඩුකාරයන්ගෙන් ප්‍රශ්න කලේ නැද්ද?"
"කලා, ඒත් උන් කියන ඒවා කාටද විශ්වාස. හැබැයි උනුත් කිව්වෙ ඒ මනුස්සයාව දැකලාවත් නැහැ කියලයි"
මේ සිද්ධිය පැටළිලි සහිත වුවත් එයට සරල පැහැදිලි කිරීමක් නැත්දැයි සුමනරත්න තවමත් සිතීය. සුද්දා ඕනෑම විදේශයකින් ශ්‍රී ලංකාවට පලා ආ අයකු විය හැකිය. කුඩු කාරයින්ට බොරු කීමට ඕනෑ තරම් හේතු තිබිය හැකිය.
"නමුත් ඔය මනුස්සයාගේ ඇඳුම් පැළඳුම් හරිම අමුතුයි කියල උඹ කිව්වා නේද?"
"ඔව්. ඇඳුම් පැළඳුම් නම් හරිම අමුතුයි තමයි. විශේෂයෙන්ම අතේ බැඳලා තිබුණ ඔරලෝසුව හරිම විශාල හරිම අමුතු එකක් "
"ඔය මනුස්සය වැටෙනවත් එක්කම තමුසෙට වෙනින් මොනවහරි විශේෂ දෙයක් පෙනුනේ නැද්ද?"
සමරජීව කුමක් හිතාගෙන මෙම ප්‍රශ්න අසන්නේදැයි සුමනරත්නට නෙතෙරිණි. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රශ්නය ගැන සිතා බැලීමේදී ආගනතුකයා බිම වැටෙනවාත් සමගම අවට පරිසරය යම් ප්‍රමාණයකින් දීප්තිමත් වූ බවද කිසියම් ආකාරයක සුළු ශබ්දයක් ඇසුණු බවද ඔහුට සිහිපත් විය. සිද්ධිය පිළිබඳව වූ කලබලය නිසා ඔහු ඒ මොහෙතේදී මේ ගැන එතරම් නොසිතීය.
"ඔය සේරගෙන්ම පේන්නේ ඔය මනුස්සයා මේ කාලයට අයත් කෙනෙක් නෙවෙයි කියල නේද?"
සමරජීවගේ ප්‍රශ්නයෙන් සුමනරත්න ගැස්සී ගියේය. ඔහුගේ නිගමනය සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන බව ඇත්තය. මරණ පරීක්ෂණයේදීද යම් කිසිවකු මෙවැන්නක් කීවද කවුරුත් එය සිනහවෙන් බැහැර කල බව ඔහුට සිහිවිය. නමුත් සමරජීව සිනහවෙන් බැහැර කල හැක්කෙක් නොවේ.
නමුත් මියගිය පුද්ගලයා කාල සංචාරකයෙක් නම් ඔහු ලඟ කාල යානයක් තිබිය යුතු නොවේදැයි සුමනරත්නට සිතිණි. එහෙත් ඔහු ළඟ තිබුණේ ඇඳුම් පැළඳුම් ටිකත් ඔරලෝසුව ...........................................
හදිසියේම සියල්ල ඉතා පැහැදිලි බව සුමනරත්න්ට පෙනිණි. නාඳුනන පුද්ගලයා පැළඳ සිටියේ ඔරලෝසුවක් නොවේ. එය ඔරලෝසුවක් වෙනි වුවත් උපකරණයක් බව එවෙලේත් ඔහුට නිකමට මෙන් සිතිණි. හැරත් "කුඩුකාරයා" බරපතල තුවාල ලබා සිටියදීත් ඔරලෝසුව දෙස බැලීමට උත්සහකල බව සුමනරත්නට සිහිපත් විය.        
මේ කරුණු සමරජීවට කීවිට ඔහු එතරම් පුදුම වූ බවක් නොපෙනිණි.
"මට නම් මුල ඉඳලම ඕක හිතිලා තිබුණේ. මට තියෙන ප්‍රශ්නේ උඹලා සේරම ඔය මිනිහ කුඩුකාරයෙක් කියල නිගමනය කලේ කොහොමද කියන එකයි."
"ඒක එතරම් පුදුමයට කාරණයක් නොවේ. මේ පලාතේ හැමතැනම කුඩුකාරයෝ ඉන්න නිසා අපි ඕනෙම අපරාධයක්, සිය දිවි නසාගැනීමක් එක්කම කුඩු සම්බන්ධ කරනවා. හැරත් ඒ මනුස්සයාගේ හැටිත් කුඩුකාරයෙක් වගේ තමයි."
"මරණ පරීක්ෂණයේදී මොනවද ඔප්පු වුණේ?"
"ඇතිවුණ තුවාලවලින් මරණය සිදුවුණ බව   තීරණය කෙරුණා. ඊට අමතරව එන්නත් කිරීමක් සිදුකල සලකුණක් තිබූ බවත් වාර්තා වුණා. රුධිරයේ කිසියම් හඳුනාගත නොහැකි රසායන වර්ගයක් ඇති බවත් අධිකරණ වෛද්‍යවරයා වාර්තා කරලා තිබුණා. මිනිහා කුඩුකාරයෙක් කියල තීරණය කරන්න මේවත් හේතු වුණා."
"එහෙනම් සමහරවිට ඒ මනුස්සයා කාල තරණය සඳහා හරි ඒකෙදි ඇති වෙන වේදනාව අඩු කරන්න හරි මොනවහරි එන්නත් කරගන්න ඇති. කොහොමත් ඔය ගැන තවත් කතා කර කර ඉඳල වැඩක් නැහැ. අපි පොලීසියට ගිහින් මේ ගැන හොයල බලමු"
සමරජීවගේ මෝටර් රථයේ නැගුණු දෙදෙන අසල නගරයේ පොලීසිය බල පිටත් වූහ.
මේ සිද්ධියේ තේරුම් ගත නොහැකි දෑ තවමත් ඇතිබව මෝටර් රථයේ යන අතරමග සුමනරත්න කල්පනා කළේය. මිනිසා කාල තරණයේ යෙදුණා නම් ඔහු ඉහලක සිට වැටුණේ කෙසේද? අනෙක් අතට ඉංග්‍රීසි භාෂාව කතා කරන සුද්දෙක් ලංකාවට කාල තරණයෙන් පැමිණියේ ඇයි?
සුමනරත්නගේ සිතිවිලි ජාලය බිඳුනේ රථය පොලීසිය වෙත ලඟා වීමත් සමගය. නාඳුනන්නාගේ මරණය නිසා බොහෝ පොලිස් නිලධාරීහු සුමනරතන් හොඳින් දැන සිටියහ. එනිසා ඔවුනට වැඩි අපහසුවකින් තොරව පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතාගේ කාර්යාලයට ඇතුළු විය හැකි විය.
"මිස්ට කරුණාරත්න. මේ මගේ හොඳම යාලුවෙක් සමරජීව"
කරුණාරත්න මහතා සමරජීව දෙස සැකෙන් බලනු දුටු සුමනරත්න කීය. ඇත්ත වශයෙන්ම සමරජීවත් කුඩුකාරයෙකියි කරුණාරත්න මහතා සැක කරන්නට ඇත. දිගට වවන ලද කෙස් වැටියත්, එක් කනක එල්ලෙන විශාල කරාබුවත් ඔහුට එබඳු පෙනුමක් ලබා දුන්නේය.      
"මෙයා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නේ. ලඟදි නිවාඩුවකට ලංකාවට ආවේ."
"එහෙමද?"
කරුණාරත්න මහතා ඇසුවේ නොසැඟවුනු නොරිස්සුම් බවකිනි. "මෙහෙම මිනිහෙක් මං ලඟට එක්කගෙන ආවෙ මොකටද?" යන ප්‍රශ්නය එහි සැඟව තිබිණ.
සුමනරත්නගේ මුහුණට සිනිහවක් නැඟුනේ ඉබේටමය. "කරුණාරත්න මහත්තයට කුඩුකාරයෙක් වගේ මිනිහෙක්වත් පේන්න බැරි හැටි" ඔහු සිතීය. ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ බලපෑම්ද නොතකා කුඩුකාරයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නට උත්සහ කරන්නෙක් ලෙස කරුණාරත්න මහතා ප්‍රකටය.
"අපි මිස්ට කරුණාරත්න හම්බ වෙන්න ආවෙ අර බිල්ඩිම ළඟ මැරිච්ච සුදු මනුස්සය ගැන අලුත් තොරතුරක් හම්බවුනද කියල දැනගන්න"
කරුණාරත්න මහතාගේ මුහුණ වහා ආලෝකමත් විය. හදිසියේම ඇතිවූ උනන්දුවක් ඔහුගෙන් දක්නට ලැබිණි.
"ඇයි ඕගොලන්නට ඒ ගැන මුකුත් තොරතුරක් ලැබුණද?" ඔහු ඇසීය.
"නැහැ. නමුත් මේ ගැන ආපහු කතා කරල බැලුවම අපට තේරුණා මෙතන මොකක් හරි අභිරහසක් තියෙන බව"
"මොකක් හරි අභිරහසක් තියෙන බව නම් ඇත්ත. අපිට ඒ මනුස්සය ගැන තවම මොනවත්ම දැන ගන්න ලැබුණේ නෑ. මගේ රාජකාරි ජීවිතයේදී මෙහෙම එකක් වුණ පළමුවෙනි වතාව"
"එතකොට ඒ මනුස්සය ගාව තිබිල හම්බවුණු ඔරලෝසුවට මොකද වුනේ?" සුමනරත්න ඇසීය.
"එක වැඩ කරන හැටි අපි කාටවත් හොයා ගන්න බැරිවුණා. වෙන එකක් තිය ඒක ඔරලෝසුවක්ද කියන එකත් මටනම් ප්‍රශ්නයක්"
සුමනරත්න සහ සමරජීව එකිනෙකාගේ මුහුණු දෙස බැලූහ.
"ඒක අපිට බලන්න පුළුවනද?" සමරජීව විමසීය.
මෙයට පිළිතුරු දීමට කරුණාරත්න මහතා පැකිලෙන බව පෙනිණි. අන්තිමේදී ඔහු කතා කරන්නට පටන් ගත්තේය.
"ඒක මේ පොලිසීයේ ගබඩාවෙමයි තිබුණේ. ඒත් තමන්ට දැන් දේශපාලකයන්ගෙනුත් උදව් ලැබෙන බව දන්න නිසා මේ කුඩුකාරයො හරිම උද්දච්ච වෙලා. ලඟදි  දවසක උන් කූඩුවෙන් නිදහස් වෙලා යන ගමන් කොහොම හරි පොලිස් ගබඩාවත් සුද්ද කරලා. නැති වෙච්ච බඩු අතරේ ඔය ඔරලෝසුවත් තිබුණ. ඒක ඊට පස්සෙ අපට හම්බ වුනේ නැහැ."
"මොනවා !!" සුමනරත්න හා සමරජීව එක වරම කීහ.    

No comments:

Post a Comment