Saturday, August 13, 2016

තූතන්කාමන්

[This is another story I wrote in 2002/2003 trying to follow Isaac Asimov's writing style. It's on a topic related to history though. The main characters and the sequence of events are consistent with recorded history.]

මහාචාර්ය කොඩිතුවක්කු ශ්‍රවණාගාරයේ රැස්ව සිටි පිරිස දෙස විමසිල්ලෙන් බැලීය. තමා ඔවුන් සියළු දෙනාගේම අවධානය දිනාගෙන ඇති බව ඔහු පසක් කරගත්තේය.

"නමුත් ඊජිප්තුව පිළිබඳව වැදගත්ම පුරා විද්‍යාත්මක සොයා ගැනීම සිදු වූයේ විසිවන ශතවර්ෂයේ මුල් භාගයේදී. එහිදී ගවේෂකයන්ට නිදන් කොල්ලකරුවන්ට සොයා ගත නොහැකිවූ සොහොනක් හමුවුණා. එය තූතන්කාමන් නම් පාරාවෝ වරයාගේ. එහි තිබී තූතන්කාමන්ගේ මල සිරුර හෙවත් මමිය සමග ඉතා අලංකාර කලා නිර්මාණ රාශියක් හමුවුණා. තූතන්කාමන්ගේ මුහුණ වසා තිබුණ තනි රත්රන් වෙස් මුහුණ කලාත්මක අතින් ඉතා ඉහල අතර කිලෝග්‍රෑම් 1061ක් බරයි."

මෙසේ කියත්ම මහාචාර්යවරයා විදුලි පහන් නිවා දමන ලෙස සන් කළේය. ඒ සමගම සභාව ඉදිරියේ වූ තිරයේ දිස්වූයේ තූතන්කාමන්ගේ සොහොනෙන් සොයා ගන්නා ලද විවිධාකාර වස්තූන්ගේ ඡායාරූපය. තූතන්කාමන්ගේ රත්තරන් වෙස් මුහුණ මුලින්ම ප්‍රදර්ශනය කෙරිණි.

"මෙහි තිබී සොයා ගන්නා ලද වටිනාකම කොතරම්ද කියනවා නම් මෙය බොහෝ විට -the richest archaeological find ever made  - යන යෙදුමින් බොහෝ විට හැඳින්වෙනවා. මෙහිදී යන යෙදුම යෙදෙන්නේ පුරාවිද්‍යාත්මක මෙන්ම මූල්‍යමය වටිනාකමද දක්වමින්."   

මේ වනවිට රැස්ව සිටිනවුන් සියල්ල සිය කතාවෙන් වසඟ වී සිටින බව මහාචාර්යවරයා අත්දැකීමෙන් දැන සිටියේය. අඳුර නිසා කිසිවකුත් නොදුටුවද ඔහුට ඒ ගැන කිසිදු සැකයක් නොවීය.

ඇත්තවශයෙන්ම මහාචාර්ය කොඩිතුවක්කු ඊජිප්තුව පිළිබඳව විශේෂඥයකු නොවීය. ඔහුගේ නිබන්ධන බොහොමයක් පදනම්වී තිබුණේ අනුරාධපුර යුගයේ සමාජ පසුබිම පිලිබඳවය. නමුත් එකම දේශනය නොයෙක්වර පැවැත්වීම නිසා ශ්‍රාවකයන්ගේ අවධානය දිනා ගනිමින් ඊජිප්තුවේ ඉතිහාසය පිළිබඳව දේශනයක් පැවැත්වීමේ කලාව නම් හෙතෙම මැනැවින් උගෙන සිටියේය. තමන් මින් පෙර කිසිදා නොගිය විශ්ව විද්‍යාලයක පුරවිද්‍යා සංගමයකින් ඊජිප්තුව පිළිබඳව පවත්වන ලෙස ආරාධනාවක් ලැබුණ විට ඔහු එය නොපැකිල පිලිගත්තේ එහෙයිනි.  

"නැවත විදුලි පහන් දල්වන ලෙස මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා"

අවසාන ඡායාරූපයද තම ඉදිරිපිට වූ ප්‍රොජෙක්ටරයෙන් ඉවතට ගත මහාචාර්යවරයා පැවසීය. විදුලි පහන් නිවාදමන මෙන් සංඥා කරන්නාක් මෙන් විදුලි පහන් දල්වන ලෙසද සංඥා කරන ක්‍රමයක් ඇත්නම් කොතරම් හොඳදැයි ඔහුට නැවතත් සිතිණි.

"නමුත් ප්‍රශ්නය මතු වෙන්නේ මෙතනදීයි"

කොඩිතුවක්කු ගැඹුරු ස්වරයක් ආරූඪ කරගනිමින් පැවසීය. විදුලි පහන් දැල්වීමේදී ඇතිවූ විරාමයේදී යම් කිසිවකුගේ අවධානය බිඳිණි නම් එය නැවත දිනා ගැනීමට ඔහු මෙම යෙදුම පාවච්චි කරයි.

"තුතන්කාමන් යනු ඉතා කෙටි කාලයක් ඊජිප්තුව පාලනය කල නොවැදගත් පාලකයෙක්. ඔහු අඩු වයසෙන් මිය ගිය නිසා සිය සොහොන සඳහා වස්තුව එකතු කිරීමටත් ඔහුට එතරම් කාලයක් ලැබුණේ නැහැ. එසේ නම් නිදන් හොරුන් විසින් කොල්ල කන ලද අනෙක් සොහොන් ගැන අපට කල හැක්කේ සිතා ගැනීම පමණයි. උදාහරණ වශයෙන් ඉතා දිගු කාලයක් ඊජිප්තුව පාලනය කල මහා රම්සීස් හෙවත් Ramses the Great නමින් හැඳින්වෙන දෙවන රම්සීස් බඳු පාරාවෝවරුන්ගේ සොහොන් ගෙවල් කෙසේ වන්නට ඇත්දැයි නිකමට මෙන් සිත බලන්න ...  "

මෙසේ කියමින් කොඩිතුවක්කු සිය කතාව මඳකට නතර කළේය. මෙය සිය දේශනයේ උච්චතම අවස්ථාව බව ඔහු දැන සිටියේය. එබැවින් ඔහු සාමාන්‍යයෙන් මෙතනින් දේශනය හමාර කළේය. ඉන් පසු ඔහු කලේ සභාවෙන් නැඟෙන ප්‍රශ්නවලට දන්නා තරමින් පිළිතුරු සැපයීම පමණි.

සභාවේ සිටි සියල්ලෝම එකිනෙකා සමග ඉතා උනන්දුවෙන් පහත් හඬින් කතා කරන්නට වූහ. කොඩිතුවක්කු අවසානයට පැවසූ වදන් ඔවුන් සියල්ලන්ගේම කුතුහලය අවුස්සා ඇති බව පෙනිණි.

ශ්‍රවනාගාරයේ පසුපසම පේලියේ අසුන්ගෙන සිටි පුද්ගලයකු පමණක් මේ කිසිදු කසු කුසුවකට සම්බන්ධ නොවීය. ඔහු කිසියම් ගැඹුරු කල්පනාවක නිමගන්ව සිටිනු දක්නට ලැබිණි. මහාචාර්ය කොඩිතුවක්කු සමග ඔහු එකඟ නොවන බව පෙන්වන්නට මෙන් ඔහු හිස දෙපැත්තට සලන්නට විය.

******************************************************************************

"උතුමාණෙනි, ඔබතුමාට කීමට වැදගත් පුවතක් තිබෙනවා"
 
අයි අමාත්‍යවරයා තමා කියවමින් සිටි පැපිරස් පත්‍රයෙන් දෑස් ඉවතට ගෙන තම ඉදිරිපිට සිටින නිලධාරියා ලෙස බැලීය. තමාගේ විශ්වාසවන්තම අන්තේවාසිකයා වන හොරම්හෙබ් නොවැදගත් කරුණක් නිසා කිසි කලෙකත් තමාට බාධා නොකරන බව අයි දැන සිටියේය.

"ඔව් හොරම්හෙබ්, කුමක්ද ඔබට කීමට ඇත්තේ?"

මේ ප්‍රශ්නය අසන විටම හොරම්හෙබ් කියන්නට යන දෙය එතරම් සුබදායක පුවතක් නොවන බව අයි වටහා ගත්තේය. හොරම්හෙබ්ගේ මුහුණේ ඇති වික්ෂිප්ත පෙණුම ඊට දෙස්දෙයි.

"ඔවුන් අන්කෙසෙනමොන් කුමරිය පාරාවෝ ධුරයට පත්කර ගැනීමට උත්සහ කරනවා. "

"අන්කෙසෙනමොන් කුමරිය ..."

වාක්‍යය අවසන් නොකල අයි කල්පනාවට වැටිණ.

අයි ඊජිප්තු රජයේ ප්‍රභලතම නිලධාරියා ලෙස බොහෝ දෙනා සැලකූහ. ඊට අමතරව පාරාවෝවරුන් සමග ඔහුගේ දුරස්ථ ඥාති සම්බන්ධයක් ඇති බව සමහරුන් පැවසුවද  ඔහුගේ සහෝදර නිලධාරීන්ගේ මතය වූයේ එය ඔහු විසින්ම ගොතන ලද්දක් බවය.

පාරාවෝවරුන් සමග ඥාති සම්බන්ධතා කෙසේවුවත් අයි දක්ෂ පුද්ගලයකු බව කවුරුත් පිළිගත්හ. නිලධාරීතන්ත්‍රය තුල තම දක්ෂතා මත කෙමෙන් ඉහල නැගි ඔහු තූතන්කාමන් පාරාවෝවරයාට පෙර එම ධුරය හෙබවූ අකෙනාටන් පාරාවෝවරයාගේ අවසාන කාලයේ සිට ඊජිප්තුවේ භාණ්ඩාගාරය පාලනය කලේය.

එහෙත් අයි පාරාවෝවරුන්ගේ සුවච කීකරු අනුගාමිකයකු නොවන බව ඔහුට සමීප කිහිප දෙනෙක් දැන සිටියහ. පාරාවෝවරුන් දෙවියන් විසින් තෝරාගනු ලැබූවන්යැයි ප්‍රසිද්ධියේ කෙසේවෙතත් පෞද්කලිකවනම් හෙතෙම විශ්වාස නොකළේය. පාරාවෝවරුන්ගේ අමනෝඥ ක්‍රියා රාශියක් දැන සිටි ඔහු ඔවුන් දෙස බැලුවේ අවඥාව මුසු ආකල්පයකිනි.        

එසේම අයි උන්නතිකාමියකු විය. අමාත්‍යවරයකු බවට පත්වීම ඔහුගේ අවසාන අභිප්‍රාය නොවීය. කෙසේ හෝ ඊජිප්තුවේ ඉහලම තනතුරට - පාරාවෝධුරයට - පත්වීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා දරුණු අපරාධවල යෙදීමට වුව ඔහු පසුබට නොවනු ඇති බව දැන සිටියේ ඔහුට සමීප හොරොම්හෙබ් වැනි කිහිප දෙනෙකු පමණි.

එහෙත් තූතන්කාමන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා නොවන්නට අයිට කිසි කලෙක ඔහුගේ අභිප්‍රාය සඵල කර ගැනීමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබිණි. තම පිය වූ අකෙනාටන්ගේ අකල් මරණයෙන් පසු පාරාවෝධුරයට පත්වන විට තූතන්කමන් ලදරුවියේ පසුවිය. එහෙයින් ඔහුගේ පාලනකාලයේ මුල් යුගයේදී ඔහු රූකඩයට තබා පාලනය ගෙන ගියේ අයි ප්‍රමුඛ නිලධාරීන් විසිනි. ඔවුහු පූජක පැලැන්තිය සමග එක්ව අකෙනාටන් දියත් කල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මුළුමනින්ම ආපසු හැරවීමට ක්‍රියාකලහ.

වසර ගණනාවකට පසු ඊජිප්තු ඉතිහාසය යලි ගොඩනගන   පුරාවිද්‍යාඥයන් අකෙනාටන්ගේ මූලික ප්‍රතිසංස්කරණ ලෙස හඳුනාගනු ඇත්තේ චිත්‍ර හා මූර්ති කලාවන්හි ඔහු ඇතිකල විප්ලවයත් එතෙක් පැවති බහුදේවවාදය ඒකදේවවාදයක් බවට පත් කිරීමත්ය. එහෙත් අකෙනාටාන් ඊට වඩා බෙහෙවින් පුළුල් අරමුණක් වෙනුවෙන් ක්‍රියා කලේය. ඔහුගේ එක මූලික අරමුණක් වූයේ  ඊජිප්තුවේ දේශපාලනික ආර්ථික ව්‍යුහය තුල පූජක පැලැන්තියට හිමිවී තිබූ බලතල හැකිතාක් සීමා කිරීමය. අකෙනාටන් පූජකවරුන් මෙතරම් අප්‍රිය කිරීමට හේතුව කිසිවකුත් නිශ්චිතව නොදැන සිටි නමුත් ඊට හේතුවූයේ පූජකවරුන්ගේ හාස්‍යජනක වත් පිළිවෙත් ඔහුට නොරිසිවීම බව බොහෝ දෙනා සිතූහ. අනෙක් අතට සාමාන්‍ය ජනතාවගේ යහපතට පූජකවරුන් බාධාවක්යැයි ඔහු සිතූ බවද පෙනිණි. මාලිගාවේ කටයුතු ගැන දත් බොහෝ අයගේ මතය වූයේ සාමාන්‍ය ජනයා ගැන එතරම් සිතූ පාරාවෝවරයෙක් මින් පෙර නොසිටි බවය. ඔහු තම වෙනුවෙන් පිරමීඩයක් ඉදිකිරීමටද දැක්වූයේ අල්ප වූ උනන්දුවකි.

කෙසේ වෙතත් අකෙනාටන්ගේ ප්‍රතිසංස්කරණ සාර්ථක වූයේ අඩකින් පමණි. බලසම්පන්න පිරිසක් වූ පූජකවරු ඔහුගේ බොහෝ වැඩ කඩාකප්පල් කලහ. එහෙත් සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වයේ යම් දියුණුවක් ඇති කිරීමට අකෙනාටන් සමත් වූ බව කවුරුත් පිලිගත්හ.

අකෙනාටන් බලයෙන් පහ කිරීමට බොහෝ පූජකවරු සහ ඔහුගේම ඇතැම් නිලධාරීහු උත්සහ කලහ. එහෙත් තීක්ෂණ පුද්ගලයකු වූ අකෙනාටන් යුද හමුදාව තරයේම තමාගේ පාලනය යටතේ ශක්තිමත්ව තබාගත් අතර සිය පෞද්ගලික ආරක්ෂාව ගැනද බෙහෙවින් සැලකිලිමත් විය. එහෙයින් තමා ඝාතනය කිරීමට ගත් ප්‍රයත්න කිහිපයක්ම ව්‍යර්ථ කොට ඊට සම්බන්ධ වූවන් විනාශ කිරීමට ඔහු සමත් විය.

මෙම බලගතු පාරාවෝවරයාට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමේ ඇති අනතුර දුටු අයි එබඳු කිසිදු කුමන්ත්‍රණයකට සම්බන්ධ නොවීමට ප්‍රවේශම් විය. එනිසාම ඔහුට අකෙනාටන්ගේ විශ්වාසය දිනාගෙන රාජ්‍යතන්ත්‍රයේ ඉහලටම නැගීමට හැකිවිය.

සියල්ල වෙනස්වූයේ හදිසියේම අකෙනාටන් ස්වභාවික මරණයකට පත්වීමත් සමගය. රටවැසියන් අකෙනාටන්ට දැක්වූ ගෞරවය නිසා ඔහු පුත් තූතන්කාමන් සිහසුනට නැන්වූ පූජකවරු ඔහු රූකඩයට තබා රාජ්‍යපාලනය සියතට ගත්හ. මෙහිදී නියම අවස්ථාවාදීයකු ලෙස සිය ප්‍රතිපත්ති වෙනස් කල අයි පූජකවරුන්ගේ පැත්ත ගත්තේය. අකෙනාටන්ගේ ප්‍රතිසංස්කරණ සියල්ල කණපිට හැරවීමට ඔවුනට ගතවූයේ ටික කාලයකි.

පාරවෝධුරය තමා සතු කර ගැනීමේ අවස්ථාවක් ඇතැයි අයි සිතන්නට වූයේ මෙම කාලයේදීය. තූතන්කාමන්ට දාව කුමරකු ඉපදීමට පෙර ඔහු මියගියහොත් පූජකවරුන් සමග තමාගේ ඇති සමීප සම්බන්ධතාවත් පාරාවෝ පෙළපතට තමාගේ ඇතැයි පතල ඥාති සම්බන්ධතාවත් නිසා තමාට පාරාවෝධුරයට පත්වීමට හැකිවනු ඇතැයි ඔහු සිතීය. එහෙත් තූතන්කාමන්ද ඔහුගේ පියා මෙන් අකාලයේ මියයනු ඇති සිතිය නොහැකි බව අයි දැනසිටියේය. පාරවෝධුරයට ඇති තෘෂ්ණාව නිසා අයිගේ සිතතුල නපුරු අදහස් ඇතිවන්නට විය. තූතන්කාමන් අවශ්‍ය මොහොතක ඝාතනය කිරීමේ කූඨ වැඩපිළිවෙලක් තම සගයා වූ හොරොම්හෙබ් හරහා ඔහු සකස් කළේ තූතන්කාමන් කුඩා කාලයේදීමය.

එහෙත් මීට පූජක පැලැන්තියේ නායකවරුන් එකඟ කරවා ගැනීම අයි සිතූ තරම් පහසු නොවීය. තූතන්කාමන් තාමන්ට පහසුවෙන් නැටවිය හැකි රූකඩයක් වෙතැයි සිතූ ඔවුහු  ඔහු වෙනුවට කාර්යක්‍ෂම පුද්ගලයකු වූ අයි එම ධුරයට පත්කිරීමට ඇති අවශ්‍යතාවක් නොදුටුහ. අයි හා ඔවුන් අතර ඇති සමීප සබඳතාව සලකා මෙම කුමන්ත්‍රණය කිසිවකුට හෙළි නොකිරීමට ඔවුන් එකඟ වුවද ඔවුහු ඊට සහයෝගය නොදුන්හ.        

නමුත් ඉතා අමනෝඥ ලෙස තූතන්කාමනා සිය ඉරණම සකස් කර ගත්තේය. දහසය වැනි වියට එළඹුණු සැණින් ඔහු රාජ්‍ය පාලනය සියතට ගත්තේය. බොහෝ නිලධාරීන් තනතුරු වලින් ඉවත් කල ඔහු එම තනතුරුවලට තමා කැමති පුද්ගලයන් පත්කලේය. සිය පියාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමට තූතන්කාමන් බලාපොරොත්තුවන බව ඉක්මනින්ම පෙනෙන්නට විය. පූජකවරුන්ගේ බලතල කප්පාදු කිරීමට හා ඔවුන් සාමන්‍ය ජනතාව සමග වගා කටයුතු වල යෙදවීමට ඔහු පටන්ගත්තේය.

මෙම මුල්වටයේ වෙනස්කම් වලදී අයිගේ තනතුරු වෙනස් කිරීමට තූතන්කාමන් මැලිවිය. ඊට හේතුවුයේ අයි භාණ්ඩාගාරයෙන් ඉවත් වුවහොත් ඊජිප්තුවේ ආර්ථිකය අවුල් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කිරීමය. එහෙත් ඔහුගේ කටයුතු කල හැකි පුද්ගලයකු හමුවූ සැණින් අයි එතෙක් හෙබවූ උසස් ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බව සියල්ලෝම දැන සිටියහ.  

එනමුදු තූතන්කාමන් සිය පියා තරම් දක්ෂ හෝ තීක්ෂණ පුද්ගලයකු නොවීය. සිය විරුද්ධවාදීන්ගේ ශක්තිය අවතක්සේරු කල ඔහු ඔවුන් තමා ඝාතනය කිරීමට උත්සහ කරනු ඇතැයි නොසිතීය. එහෙයින් ඔහුගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ආරම්භ කර මඳ කලක් ගත වනවිටම ඔහුගේ ඉරණම තීරණය විය. රහසිගතව අයි මුණ ගැසුණු නායක පූජකවරු ඔහුගේ කුමන්ත්‍රණයට සිය පූර්ණ සහයෝගය පලකර සිටයහ. නව පාරවෝවරයකු පත් කිරීමේදී තමන්ට ලැබෙන බලය පාවිච්චි කර අයි සිහසුනට නැංවීමට ඔවුහ එකඟ වූහ. මේ සම්බන්ධයෙන් ඔවුන් කෙතරම් උනන්දුවක් දැක්වීද යත් තමා මුලින්ම එබඳු කුමන්ත්‍රණයක් සැලසුම් නොකර සිටියේනම පූජකවරුන් සියල්ල සැලසුම් කර පාරවෝධුරය භාරගන්නා ලෙස තමාට ආරාධනා කරනු ඇතැයි අයිට සිතිණ.

කෙසේ වෙතත තූතන්කාමන් වාසනාවන්තයෙක් විය. ඔහු ඝාතනය කිරීමට ගත් ප්‍රයත්න කිහිපයක්ම අවසාන මොහොතේදී ව්‍යර්ථ විය. එහෙයින් කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වූවාට වැඩි බලපෑමක් ඊජිප්තු සමාජය තුල ඇති කිරීමට තූතන්කාමන්ට ඉඩ ලැබිණි. නමුත් තමන්ට එරෙහිව ඝාතන ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහුගේ අරක්කැමියකු ආහාර විෂ වී හදිසියේ මියගිය විටවත් අවබෝධ කර ගැනීමට ඔහු අපොහොසත් විය. මේ වනවිට චරපුරුෂ සේවය මුළුමනින්ම සියතට ගැනීමට අයි සමත්ව සිටියෙන් ඉන් තූතන්කාමන්ට කිසිදු තොරතුරක් නොලැබිණි. එහෙයින් අවසනය්දී නොවැලැක්විය හැකි අභාග්‍යය උදාවිය. දිනක් දහවල සිය ප්‍රියතම ආහාරයන්ගෙන් යුතු භෝජනයක් භුක්ති විඳි තූතන්කාමන් සුවදායක නින්දකට වැටුණු නමුත් නැවත නැගිටීමට අපොහොසත්විය. ඊජිප්තුවේ තවත් පාරාවෝවරයෙක් ඝාතනය කෙරිණි. තූතන්කාමන් එලෙසෙ ඝාතනය කෙරුණු පළමුවැනි හෝ අවසාන පාරවෝවරයා නොවන බව බොහෝ අය දැන සිටියහ.

තමන්ගේ ජීවන අභිප්‍රාය සඵල වීමට ආසන්න බව අයිට හැඟුණි. අතීතයේදී සෑමවිටම පාරවෝධුරයට පත්වූයේ පූජකවරුන්ගේ අනුග්‍රහය ලැබූ පුද්ගලයාය. ඊට එරෙහි වීමට යමකු සිතුවේ කලාතුරකිනි. තමාට පලමුව පාරවෝධුරය හෙබවූ තැනැත්තා ඝාතනය කර එම ධුරයට පත් වූවෝද බොහෝ වූහ. ඊජිප්තුවේ සාමාන්‍ය මතය වූයේ එබඳු ඝාතන ප්‍රයත්න සාර්ථක වූයේ දෙවියන්ගේ අනුග්‍රහය ලැබුන නිසා බවය. එබැවින් කුමන්ත්‍රණකරු පාරවෝධුරයට පත්වීමට සුදුසු බව පිළිගැනිණි.

නමුත් නොසිතූ දෙයක් සිදුවෙමින් පවතී. ඊජිප්තු ඉතිහාසයේ පළමුවරට මියගිය පාරවෝවරයකුගේ වැන්දඹු බිරිඳ පාරාවෝධුරයට පත්වීමට උත්සහ කරයි.

"ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සැලකිය යුතු සහයෝගයක් තිබේද?"

තමා නිමග්නව සිටි කල්පනාවෙන් මිදුණු අයි ඇසීය.

"එසේය. නව පාරවෝවරයා තෝරා ගැනීමට රැස්වන පිරිසෙන් බහුතරය ඔවුන් සමග සිටින බව දැනගන්නට ලැබී තිබෙනවා. ඔවුන්ගේ සැලැස්ම වී ඇත්තේ මේ බව රහසක්ව තබාගෙන සභාව රැස්වුණු පසු එක්වරම කුමරිය පාරවෝධුරයට පත්කර ගැනීමයි. අපේ චරපුරෂයන් මෙය අනාවරණය කරගෙන ඇත්තේ බොහෝ අපහසුවෙන්. "    

හොරම්හෙබ් යටතේ ඇති රාජකීය චරපුරුෂ සේවය සිය ග්‍රහණයට ගැනීම කොතරම් ප්‍රයෝජනවත්දැයි අයි සිතන්නට විය. එසේම අකෙනාටන් තූතන්කාමන් පිය පුතු දෙපළ විසින් ඊජිප්තුවාසින් තුල තමා සිතුවාට වැඩි වෙනසක් ඇති කර තිබෙන බව අයි අවබෝධ කරගත්තේය. නැතහොත් කිසි කලෙකත් කාන්තාවක පාරවෝධුරයට පත්කිරීමක් ගැන ඔවුන් නොසිතනු ඇත.    

එසේම අන්කෙසෙනාමොන් කුමරිය කිසි කලෙකත් අයිගේ අවධානයට ලක් නොවීය. ඇය බුද්ධිමත් කාන්තාවක බව ඔහු දැනසිටියද මෙබඳු තීරණාත්මක අවස්ථාවකදී දේශපාලන වැදගත්කමක් ඇයට හිමිවෙතියි ඔහු කිසිවිටෙක නොසිතීය. ඇය තූතන්කාමන්ටත් වඩා මහජනයාගේ ගෞරවාදරයට ලක්වන බවත් එනිසාම ඔවුන් ඇය රැජින ලෙස නොව "කුමරිය" ලෙස අමතන බවත් - ඇය රාජ කුමරියක වූවාය - ඔහු දැන සිටි නමුත් මේ කිසිවක් තමාගේ වැඩපිළිවෙලට හරස්වෙතියි ඔහු නොසිතීය. ඇය ගැන ඔහු සිතුවානම් සිතුවේ පාරාවෝධුරයට පත්වීමෙන් පසු කෙසේ හෝ ඇය ආවාහ කරගතහොත් මහජනයා අතර තමාට වැඩි පිළිගැනීමක් ලැබෙතියි යනුවෙන් පමණෙකි.

තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීම පමා වීමද මෙම ප්‍රශ්නය ඇතිවීමට හේතුවක් බව අයි සිතන්නට විය. කුමන්ත්‍රණය ඉක්මනින් ක්‍රියාත්මක විණි නම් තමන්ට හිතවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පත්කර ගැනීමට තූතන්කාමන්ට අවස්ථාවක් නොලැබෙනු ඇත. මෙහිදී පූජකවරුන් ගැන අයිට කෝපයක් ඇතිවිය. තමා මුලින්ම සැලසුම් කල අවස්ථාවේදීම තූතන්කාමන් ඝාතනය කරන ලද නම් මෙබඳු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

"යුද හමුදාව තුල ඔවුන්ගේ ශක්තිය කෙසේද?"

අයි හදිසියේම ඇසීය. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී කලබලයට පත් නොවී කටයුතු කරන්නකු ලෙස ඔහු ලබා ඇති කීර්තිය ඔහුට ඇත්ත වශයෙන්ම හිමිවිය යුතු බව අයි මෙහිදී ප්‍රදර්ශනය කළේය.

"යුද හමුදාවේ ඉහල නිලධාරීන් සියල්ලම අප සමගයි. නමුත් බහුතරයක් සෙබළුන්ගේ සහය ඔවුන්ට ලැබීමට ඉඩ ඇතැයි ඔත්තුකරුවන් පවසනවා"

අයි සාවධානව අසා සිටියේය. අවසානයේදී ඔහු හොරම්හෙබ්ගෙන් මෙසේ ඇසීය.

"එසේනම් හොරම්හෙබ් ඔබ යෝජනා කරන්නේ කුමක් කරන්නද?"

අයි යම් කිසිවකුගෙන් මෙසේ අසන්නේ කලාතුරකින් බව හොරම්හෙබ් දනී. අයි සාමාන්‍යයෙන් කරන්නේ තමන් සිතා බලා තීරණයක් ගෙන අන්‍යයන්ට උපදෙස් දීමය.  
               
 "මට පෙනෙන හැටියට දැන් නම් කල හැකි එකම දෙය වන්නේ කුමරිය හැකි ඉක්මනින් මෙලොවින් තුරන් කිරීමයි."

හොරම්හෙබ් මෙසේ පැවසුවේ සිය මුහුණින් කිසිදු හැඟීමක් පල නොකරමිනි. මෙම හැඩි දැඩි සෙබලාගේ හදෙහි දයාව, කරුණාව වැනි හැඟීම් ඇත්නම් ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව අයි දැන සිටියේය.  

එහෙත් සිය හදපත්ලෙන්ම නැගී ආ සුසුම නවත්වාලීමට අයිට නොහැකිවිය. ඒ සමගම ඔහු කල්පනාවට වැටිණි. ඔහු නැවත කටහඬ අවදි කලේ පෙරට වඩා තිරසාර ස්වරයකිනි.

"කුමරියත් මෙලොවින් තුරන් කලහොත් ඇතිවන තත්ත්වය අපට පාලනය කරගත නොහැකි වේවි, හොරම්හෙබ්. දැනටමත් බොහෝ දෙනා අප සැක කරනවා. යුද හමුදාවේ හා ජනතාවගේ සහයත් ඔවුනට ලැබෙන නිසා අප එසේ කලොහොත් ඔවුන් අපට එරෙහිව කැරලි ගසනු ඇති. අවසානයේදී සිදුවන්නේ යම් අවස්ථාවාදියකු බලය අල්ලා ගැනීමයි."

අයි කියන්නේ අත්තක් බව පිළිගැනීමට හොරම්හෙබ්ට සිදුවිය. මීට පෙර මෙවැනි දෑ සිදුවී තිබේ.  

තමාගේ සිත තුල පහල වූ කිසියම් දයානුකම්පාවක් මෙම තීරණයට මුල්වීදැයි තේරුම් ගැනීමට අයිටද නොහැකිවිය. කොතරම් දුෂ්ට අදහස් ඇත්තෙක් වුවද තූතන්කාමන් මරා දැමීමෙන් කල කෲරතර ක්‍රියව ගැන ඔහු යම් තරමකට කම්පිතව සිටියේය. එහි උණුසම මැකී යාමටත් පෙර රට වැසියාගේ ආදරය දිනාගත් අන්කෙසෙනමොන් කුමරියද මරා දැමීමට තීරණය කිරීමට තමාට වුවද අපහසු වන බව අයි වටහා ගත්තේය.

අනෙක් අතට මේ මොහොතේ බලය අන්කෙසෙනමොන් කුමරිය අතට පත්වීමට ඉඩ හලහොත් තමා සිය රට වෙනුවෙන් කලයුතු සේවාවක් පැහැර හැරීමක් සිදු වෙතියි ඔහු සිතීය. කෙතරම් බුද්ධිමත් කාන්තාවක වුවද ඊජිප්තුව ස්ථාවරව පාලනය කිරීමට යම් කාලයක් ගතවන තුරු අන්කෙසෙනමොන් කුමරියට නොහැකි වන බව ඔහු දැන සිටියේය. රාජ්‍ය පාලනය ගැන ඇයට එතරම් දැනුමක් නොතිබිණි. එසේම ඇය නිශ්චිතවම පූජකවරුන් සමග ගැටෙනු ඇත. මෙයින් සිදුවන්නේ රට තුල අභ්‍යන්තර ආරවුල් ඇතිවීම පමණකි. පූජකවරුන්ගේ ක්‍රියාකලාපය ගැන අයිද එතරම් පැහැදීමකින් නොසිටි නමුත් රටතුල ස්ථාවර පාලනයක් ගෙන යාමට නම් ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය බව ඔහු දැන සිටියේය.              

මේ සියල්ලටම වඩා නරක දෙය ලෙස අයි දුටුවේ අන්කෙසෙනමොන් කුමරිය යුද්ධය ගැන දැක්වූ පිළිකුල් සහගත ආකල්පය. ඇයගේ බලපෑම නිසාදෝ තූතන්කාමන්ගේ පාලන කාලයේ අවසාන වසරවලදී යුද හමුදාව මගින් අසල්වැසි රාජ්‍යයන්ට හා ගෝත්‍රිකයන්ට පහරදීම අඩු කෙරිණි. මෙහි ඇති අවදානම දුටු අයි කිහිපවතාවක්ම තූතන්කාමන්ට කරුණු පැහැදිලි කරදීමට උත්සහ කලද පාරාවෝවරයා කිසිවිටෙකත් අයි කී කරුණු පිලිනොගත්තේය. මෙලෙස කලෙකින් පහර නොදීම නිසා  උතුරින් හිටයිට් රාජාධානියේ හා දකුණින් නුබියානු ගෝත්‍රිකයන්ගේ ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව චරපුරුෂ වාර්තා අනුව අයි දැන සිටියේය. එනිසා නුදුරු අනාගතයේදීම මින් එක පිරිසක්  හෝ ඇතැම්විට දෙපිරිසම එක්වරම හෝ ඊජිප්තුවට පහර දෙනු ඇත. මෙය වැලක්වීමට කල හැකි එකම දෙය වන්නේ හැකි ඉක්මණින් මෙම සතුරු දේශ වෙත හමුදාව මෙහෙයවා ඒවා හැකිතාක් විනාශ කොට ආපසු පැමිණීමයි. එවිට සිදුවුණු විනාශයෙන් ගොඩ එන අයුරු මිස ඊජිප්තුවට පහර දීමක් ගැන ඔවුන් නොසිතනු ඇත. දයානුකම්පාවෙන් පිරිණු අන්කෙසෙනමොන් කුමරිය මෙබඳු විනාශකාරී වැඩ පිළිවෙලකට එකඟ නොවනු ඇති බව අයි දැන සිටියේය. අගේ අදහස වනු ඇත්තේ මේ අසල්වැසි රටවල් සමග සමාදානයෙන් පාලනය ගෙන යාමය. එහෙත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතෙන වෛරයක් සමනය කිරීම එතරම් පහසු නොවන බව අයි දැන සිටියේය.

මේ සියල්ලටම එකම විසඳුම පාරාවෝධුරයට තමන් පත්වීම බව අයි නැවතත් තමාටම ඒත්තු ගන්වා ගත්තේය. මෙයින් තමන් කරන්නේ තමන්ගේ බලකාමය සන්සිඳුවා ගැනීම බව ඔහු පහසුවෙන් අමතක කලේය.  

"හොරම්හෙබ්, ප්‍රධාන පූජකවරුන්ට අද හවස මගේ ගෘහයට එන ලෙස දන්වන්න. ඔවුනටත් මෙම පුවත් දන්වන්න. මා සතුව වැඩ පිළිවෙලක් ඇති බවත් කලබල නොවන ලෙසත් ඔවුන්ට දන්වන්න. ඔබත් අපට හිතවත් අනෙක් ප්‍රධානීනුත් සමග මෙම රැස්වීමට එන්න. හෙට කලයුත්තේ කුමක්දැයි අපි එවිට නිශ්චිතවම නිගමනය කරමු. "

මෙයින් හොරම්හෙබ් සෑහීමට පත්විය. අයිගේ වැඩපිළිවෙල කුමක්දැයි මේ මොහොතේදී ඔහුගෙන් ඇසීමට හොරම්හෙබ් නොසිතීය. අයි අවශ්‍ය මොහොත එළඹෙනතුරු කිසිවක් නොකියන බව ඔහු දනී.

"එසේනම් උතුමාණනි, මට පිටවී යාමට අවසර"

හොරම්හෙබ් හිස නමා ආචාර කරමින් පැවසීය. අයි හිස නමා ආචාර කරමින් පැවසීය. අයි සිය සුරත ඔසවා එම ආචාරය පිලිගත්තේය. ඉන්පසු හොරම්හෙබ් කුටියෙන් පිටතට යද්දී අයි තම කියවමින් සිටි පැපිරස් පත්‍රය වෙත නැවතත් නෙත් යොමු කලේ කිසිවක් සිදු නොවූ කලෙක මෙනි.  

******************************************************************************

එදින සන්ධ්‍යාවේ අයිගේ නිවසේ වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි. ඊට සහභාගී වූයේ විස්සකටත් අඩු පිරිසක් වුවද එය ඊජිප්තුවේ ඉරණම තීරණය කරන්නක් බව පැමිණි සියල්ලෝම දැන සිටියහ.

බලාපොරොත්තු විය හැකි පරිදිම වැඩිපුරම කතා කලේ අයිය. අනෙක් අය අතරින් පතර තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් හා විටෙක අයිගෙන් ප්‍රශ්න කරමින් ඔහු කී දේ සාවධවනව අසා සිටියහ. අයි යෝජනා කරන වැඩපිළිවෙල සාර්ථකවේදැයි ඇතැමුන් සැකකරන බව ඔවුන්ගේ මුහුණුවල ඉරියව්වලින් හා ඔවුන් නැගූ ප්‍රශ්නවලින් පැහැදිලිවම පෙනිණි. නමුත් කල හැකි අන්දෙයක් නැති බව පිළිගැනීමට ඔවුන්ට සිදුවිය. සාකච්ඡාව අවසාන වූයේ සියළුදෙනාම අයිගේ වැඩපිළිවෙල පිළිගෙන ඔහුගේ උපදෙස් අනුව එකිනෙකා කලයුතු වැඩ කොටස් ගැන නිශ්චිත එකඟතාවකට පැමිණීමෙන් පසුවය.

******************************************************************************

පසුදින පාරාවෝවරුන්ගේ මාලිගයේ ප්‍රධාන ශාලාවට රාජකීය නිලධාරීන් හා පූජකවරුන් රැස්වූයේ නව පාරාවෝවරයකු තෝරාගැනීම අරමුණු කරගනිමිණි. ඊට අමතරව මිය ගිය පාරවෝවරයාගේ පරලොව ජීවිතය සැපවත් කිරීමට ගත යුතු පියවරද මෙහිදී සාකච්ඡා කල යුතුව තිබිණ.

සාම්ප්‍රදානුකූලව මෙහිදී මුලින්ම සිදු කෙරුණේ ප්‍රධාන පූජකවරයා විසින් මියගිය පාරාවෝවරයා පිළිබඳව ගුණ කථනයක් ඉදිරිපත් කිරීමය. තූතන්කාමන් හා පූජකවරුන් අතර ඇතිවූ ගැටුම් කිසිවකුට රහසක් නොවූයෙන් බොහෝ දෙනා බලාපාරොත්තු වූයේ කෙටි ගුණ කථනයකි. නමුත් ප්‍රධාන පූජකවරයා තූතන්කාමන්ගේ කෙටි පාලනකාලය තුල ඔහු විසින් සිදු කරනු ලැබූ සේවය ගැනත් ඔහුගේ ගුණවත්කම ගැනත් කොතරම් හැඟුම්බරව කතා කලේදයත් බොහෝ දෙනාගේ නෙත්වලට කඳුළු ගලා ආවේ ඉබේටමය. පූජකවරයා සිය කතාව හමාර කලේ තමා දැනසිටි පාරාවෝවරුන් අතරින් ශ්‍රෙෂ්ඨතමයා තූතන්කාමන් බවත් ඔහු වැනි පාරාවෝවරයකු ඉදිරියේදී නැවත පහලවීම සැක සහිත බවත් පවසමිනි.

පූජකවරයාගේ කතාව අවසානවීමත් සමගම අයි ඉදිරයට ආවේය. මෙය සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන්නක් නොවන බැවින් බොහෝ දෙන ඉතා උනන්දුවෙන් අයි දෙස බැලූහ.

සාමාන්‍යයෙන් අයි එතරම් චතුර කථිකයකු නොවීය. එහෙත් මෙදින ඔහුගේ කතාව ආරම්භයේ සිටම යම් දැඩි බවක් මෙන්ම විශ්වාසනීය බවක්ද විය. ඔහුගේ කතාව අසා සිටි බොහෝදෙනකුට සිතුණේ ඔහු පවසන්නේ හද පතුලින්ම නැගී එන අදහස් බවය.

රැස්ව සිටි පිරිසගෙන් අවසර ගැනීමෙන් පසු අයි මෙසේ කතාව ඇරඹීය.

"අපේ මියගිය පාරාවෝවරයා අවසාන කාලෙය්දී මා ගැන එතරම් හොඳ ආකල්පයක් නොදක්වූ බව ඔබ හැම දන්නා කරුණක්. එහෙත් ඒ නිසා එතුමාගේ මරණයට මා සම්බන්ධයැයි ඇතැමුන් පැවසීම මගේ හදවතට ඉතාම පීඩා ගෙන දෙන්නක්. එහෙත් ඒ ගැන එතරම් කතා කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. මන්දයත් මට එල්ලවන අභූත චෝදනා නිසා මා තුල ඇතිවන වේදනාව අපේ වීරෝධාර නායකයාගේ අභාවය නිසා මා තුල ඇතිවන වේදනාව සමග සසඳන විට නොසැලකිය හැකි තරම් කුඩා හෙයිණි."

ඉන්පසු අයි ඉතා පරිස්සමෙන් තෝරාගත් වචන වලින් තූතන්කාමන්ගේ කෙටි රාජ්‍ය කාලය තුලදී ඔහු විසින් සිදු කරුණු ලැබූ සේවාවන්ද තමන් ඒවාට දායක වූ අයුරුද විස්තර කලේය. මේ මුළු කාලය තුලදීම රාජ සභාවේ සිටි සියලු දෙනාම කිසිදු ශබ්දයක් නොනඟා ඔහුගේ කතාව උනන්දුවෙන් අස සිටියහ. මුලදී වික්‍ෂිප්ත බවක් හෝ යම් ආකාරයක නොසතුටු බවක් මුහුණු පවා කතාවේ අවසාන භාගය වනවිට ශෝකාකූල බවක් දැක්වූයේ අයිගේ කතාව මුළුමනින්ම ග්‍රහණය කර ගත්තාක් මෙනි.

"මට අවබෝධ වන ආකාරයට අප විසින් දැන් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ මියගිය පාරාවෝවරයාගේ පරලොව ජීවිතය සැපවත් කිරීමට ගත හැකි හැම පියවක්ම ගැනීමය. ඒ සඳහා රජවරුන්ගේ මිටියාවතෙහි එතුමා සඳහා ඉදි කරන වාසභවනය එතුමා සඳහා ඉදි කෙරෙන වාසභවනය කිසිදු කලෙක කිසිදු සතුරකුට සොයාගත නොහැකිවන පරිදි රහසිගත ස්ථානායක ඉදිකලයුතු යැයි මම යෝජනා කරමි. එමෙන්ම එතුමාගේ පරලොව ජීවිතය සපවත්වනු පිණිස අන් කිසිදු පාරාවෝවරයකුගේ පරලොව වාසභාවනයේ තැන් පත් නොකළ විශාල වස්තු සම්භාරයක් එතුමා වෙනුවෙන් තැන්පත් කල යුතුයැයි මම කියා සිටිමි. එතුමාගේ මග පෙන්වීම යටතේ මා විසින් රාජකීය භාණ්ඩාගාරය ඉතා ශක්තිමත් තත්ත්වයක පවත්වාගෙන ඇති නිසා මෙය සිදු කල හැකි බව මට ස්ථිරවම කිව හැකිය. ඇත්තවශයෙන්ම එතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා අප රාජ්‍යය ඉතා ශක්තිමත් තත්ත්වයකට පත්වූ නමුත් තම ගැන කිසි කලෙක නොසිතූ එතුමා සිය පරලොව ජීවිතය සැපවත් කර ගැනීම නොසිතූ තරම්. එනිසා එතුමාගේ යටත් වැසියන් වූ අප විසින් එතුමා වෙනුවෙන් මෙම අවසන් මෙහෙය ඉටුකල යුතු යැයි මම තරයේ කියා සිටිමි"

මෙසේ කියමින් සභාවට හිස නමා ආචාර කල අයි සිය කතාව අවසාන කිරීමට සූදානම් විය.

"නව පාරාවෝවරයා දිගු කල් දිනේවා!"

මෙසේ හඬ නගා කියා සිටියේ කලින් සැලසුම් කල පරිදි හොරම්හෙබ් නොව ප්‍රකට මධ්‍යස්ථ නිලධාරියකු වූ එමටෙෆ්ය. අයිගේ කතාවෙන් ඔහු වසඟ වී ඇති බව පැහැදිලිවම පෙනිණි.

"නව පාරාවෝවරයා දිගු කල් දිනේවා!!"

හොරම්හෙබ් ඇතුළු අයිගේ අනුගාමිකයෝ දෑත් ඉහල ඔසොවා හඬ නගන්නට වූහ. රැස්ව සිටි පිරිසෙන් බහුතරය ඔවුන් සමග එක්ව හඬ නගන බව පෙනිණි. නව පාරාවෝවරයකු පත්කරගැනීමේ කාර්යය කිසිදු ගැටුමකින් තොරව ඒකමතිකව සිදුවූ බව කාටත් වැටහිණි.

අයිගේ මුහුණට සියුම් සිනහවක් නැගිණි. අන්කෙසෙනමොන් කුමරියගේ වික්‍ෂිප්ත මුහුණ දෙස ඔහුගේ දෑස් යොමුවූයේ ඉබේටමටය.        



    




 
     





No comments:

Post a Comment